වහලයේ අගක හිඳ,
හුරුබුහුටි මකුළුවෙක්
කොණින් කොණ යා කරන,
මුදු සේද දැල් වියයි. .
සිහින් පා තුඩු අගින්,
සීරුව ට අඩි තියන,
තරබාරු සිරුර යට,
දැකුම්කළු සිත්තමක්. .
හිරු මැරුණ වෙලේ සිට,
ගෙවදිනා මැස්සන්ව,
කඩිසරව පිළි අරන්,
සීතලට සළු වියයි. .
ළා සඳෙන් එළිය ගෙන,
රැය පුරා ඇහැරගෙන,
සිහින් දැල් තත් පෙළා,
නෑසෙන්න ගී ගයයි. .
හැමදාම පාන්දර,
කොසු මිටින් පහර ලැබ,
බිඳ වැටුනු නිවස දැක,
සිත දිරිය මිය නොයයි. .
දැල් කැබලි එකතු කර,
ළය මතින් තබාගෙන,
පරාලය කොණට වී,
නෑසෙන්න ඉකි බිඳියි. .
පරාජය ළඟ නොසිට,
ලේ නහර පිටට ඇද,
බිඳ වැටෙන දැල් කවුළු,
නැවත පිරියම් කරයි. .
බිඳෙන බව දැන දැන ම,
හැමදාම ඉදි කරන,
මගේ සිහිනත්, මමත්,
සබඳ, නුඹ වගේමයි. .
මා මෙන් ම හෙටක් ගැන,
හැමදාම නුඹ දකින,
නුඹේ විසිතුරු සිහින,
ඔය දැලට බර වැඩියි. .
මියෙන තුරු දිනනු බැරි,
සටන මම අත් හළෙමි,
උඹත් දැන් නැවතියන්,
කොස්ස තවමත් දිගයි. .
Tuesday, May 19, 2015
Subscribe to:
Posts (Atom)