ඈත රණ බිම කෙරෙන්,
වෙඩි හඬක් පැන නැඟුණි,
රුපුන් සිත් සසල කළ,
හදවතක් නිසල විණි....
මිහි කුසින් උපත ලද,
උරුමයෙන් බය නොලද,
නොදත් රණ පුතණුවෝ,
සුර ලොවට නික්ම යති....
උණ්ඩයෙන් සිදුරු උන,
නොබා හුන් හදවතින්,
රුහිර උතුරන කලට,
ඔහුව අමතක කෙරිණි....
ඉනික්බිති,
අඩවසක් ගෙවුනු දින,
උනු'න මග ගත්තවුන්,
එබිම කඳවුරු බඳිත්....
දිරා යන සැකිල්ලේ,
උරස් කුහරය තුලින්,
උන් දකිති ලියවැලක්,
මෙයින් පෙර දැක නොමැති....
උණ්ඩයෙන් බිඳී ගිය,
පර්ශු අතරින් පැතිර,
සෙබළ හදවත රැඳුන,
තැනින් මතු වී අවුත්,
මඳ නලින් බිම පිසින,
සියල් තණ පත් අතර,
සැඩ සුළඟ දරාගෙන,
ඍජු කයෙන් නැග සිටිති....
බිඳී යන ඇඟිලි ඇට,
අවසාන උණ්ඩයත්,
මුදා හළ අවිය බඳ,
අත් හැරී නොයනු මෙන්,
ලිය කඳෙන් නැගි පහුරු,
සුරත බඳ මත වෙලා,
ඇඟිලි හා බැඳී ඇත....
ලතාවෙහි උසම අග,
එකම ලේ පැහැ මලක්,
තහඩු මාලය දරයි,
මළකඩින් මැකී ගිය...
මළාණික හද මඬල,
ඒ මලින් සරසාන,
හිස් හෙළවු යුද බිමට,
සිතෙන් අවි දරාගෙන....
සෙබළු යළි හැරෙන තැන,
සතුරු සැකිළි ද තිබිණි,
අවි බඳෙන් පහර ලැබ,
හිස් කබල විසුණු උන...
ඒ සැකිළි මතින් පැන,
උන් ගියා රණ බිමට,
ජය කොඩිය අතින් ගෙන,
මිස නැවත නො එන මෙන....
රුපුන් පළවා හැරන්,
මුදා ගත් දින එ බිම,
අවිය අත් හැර දමා,
පහුරු මව් බිම සොයති....
තහඩු මාලය යලිත්,
ගෙල මතට ඇද වැටිණි,
මලෙහි පෙති සිඳී ගොස්,
බිම පුරා විසිර යති....
මඳ නලට මුසු කෙරුණ,
සිහ කෙසරු වන් රේණු,
දසත පැතිරී ගොසින්,
නිදහසේ සුවය දෙති....
එ රණ බිම වසාගෙන,
අළුත් ලියවැල් නැගුණි,
මිලින වූ මල පිණිස,
සියක් මල් යළි පිපුණි....
හෙට දිනක ඒ බිමේ,
දණ නගන'වුන් පිණිස,
නැවුම් අරුණෝදයේ,
ජය බිමක සිරි මවති....
Friday, May 28, 2010
Subscribe to:
Post Comments (Atom)
අති විශිෂ්ටයි..!!!
ReplyDeleteහප්පේ මේකෙ ලොකු සහ දිග..............
ReplyDelete