...යුගාන්ත මාරුතය යනු...

...මාගේ දර්ශනය සහ සමාජ-ශාස්ත්‍රීය මතවාද පිළිබඳව ලියැවෙන්නේ නිසල නිම්නයෙහි ය.යුගාන්ත මාරුතය මා තුල සිටින සෞන්දර්යාත්මක මිනිසාගේ ප්‍රකාශනයක් වෙයි...

Saturday, January 18, 2014

. .ඉතිං නුඹ හිනැහියන්. .

ආයෙමත් පෙර ලෙසින්,
ඉතිං නුඹ හිනැහියන්,
ළදළු තුරුපත් සැළෙන,
ළකළු රිද්මය නඟන්. .

විඩාපත් මා පෙළන,
රොස් පරොස්, රළු වදන්,
නිමා කරපන් ඉතිං,
පෙර ලෙසින් හිනැහියන්. .

වෙර බැඳී මළ නැඟුණු,
හදවතින් මෙත් වඩන්,
කළ වරද මගෙ නොවෙයි,
දැන් ඉතිං නැවතියන්. .

නිමා වුනු අතීතය,
බිඳුණු හදවත දරන්,
නුඹට මෙත් වඩන මා,
නෙත් සමග හිනැහියන්. .

අඳුරු හදවත මතින් - සඳු සියක් නැගීයන්,
දිලෙන කඳුලට යටින් - සිනා මල් පිපීයන්,
මා නැතත් නුඹ පිණිස - ලෝකයම ලැබීයන්,
එක වරක් මේ සසර - ආයෙමත් හමුවෙයන්. .

. .නුඹ දැකීම. .

මේ විසල් නගරයේ,
හැම තැනම වෙලාගෙන,
මගේ ළය බිඳහෙළා,
නුඹෙ මතක සිනාසෙයි. .

සුරත හා වෙලීගෙන,
නුඹ ළඟින් නාවාට,
මුදු සිහින් ඇඟිලි තුඩු,
තාම සිත කොනිත්තයි. .

රිය සැරය යටින් විත්,
නුඹෙ කොමළ සිනා රැළි,
හදේ මංමුලා කොට,
යන්තමින් මට ඇසෙයි. .

මාවතේ ඉවුරු මත,
නුඹේ රුව මැවෙත්දී,
බර දරනු බැරි ලෙසින්,
දෙනෙත් අහකට හැරෙයි. .

මගේ නෙත් මත ගැටෙන,
දහසකුත් මිනිස් රූ,
අතැර එක මදහසක්,
පිණිස මා වෙහෙසවයි. .

ආත්මය මිටින් ගෙන,
ඈතකට විසි කළෙමි,
ඉතිං මා දමා යවු,
මාවතේ මිරිඟුවෙහි. .