...යුගාන්ත මාරුතය යනු...

...මාගේ දර්ශනය සහ සමාජ-ශාස්ත්‍රීය මතවාද පිළිබඳව ලියැවෙන්නේ නිසල නිම්නයෙහි ය.යුගාන්ත මාරුතය මා තුල සිටින සෞන්දර්යාත්මක මිනිසාගේ ප්‍රකාශනයක් වෙයි...

Tuesday, May 19, 2015

. . .නුඹ, මම සහ සිහින. . .

වහලයේ අගක හිඳ,
හුරුබුහුටි මකුළුවෙක්
කොණින් කොණ යා කරන,
මුදු සේද දැල් වියයි. .

සිහින් පා තුඩු අගින්,
සීරුව ට අඩි තියන,
තරබාරු සිරුර යට,
දැකුම්කළු සිත්තමක්. .

හිරු මැරුණ වෙලේ සිට,
ගෙවදිනා මැස්සන්ව,
කඩිසරව පිළි අරන්,
සීතලට සළු වියයි. .

ළා සඳෙන් එළිය ගෙන,
රැය පුරා ඇහැරගෙන,
සිහින් දැල් තත් පෙළා,
නෑසෙන්න ගී ගයයි. .

හැමදාම පාන්දර,
කොසු මිටින් පහර ලැබ,
බිඳ වැටුනු නිවස දැක,
සිත දිරිය මිය නොයයි. .

දැල් කැබලි එකතු කර,
ළය මතින් තබාගෙන,
පරාලය කොණට වී,
නෑසෙන්න ඉකි බිඳියි. .

පරාජය ළඟ නොසිට,
ලේ නහර පිටට ඇද,
බිඳ වැටෙන දැල් කවුළු,
නැවත පිරියම් කරයි. .

බිඳෙන බව දැන දැන ම,
හැමදාම ඉදි කරන,
මගේ සිහිනත්, මමත්,
සබඳ, නුඹ වගේමයි. .

මා මෙන් ම හෙටක් ගැන,
හැමදාම නුඹ දකින,
නුඹේ විසිතුරු සිහින,
ඔය දැලට බර වැඩියි. .

මියෙන තුරු දිනනු බැරි,
සටන මම අත් හළෙමි,
උඹත් දැන් නැවතියන්,
කොස්ස තවමත් දිගයි. .

Saturday, January 18, 2014

. .ඉතිං නුඹ හිනැහියන්. .

ආයෙමත් පෙර ලෙසින්,
ඉතිං නුඹ හිනැහියන්,
ළදළු තුරුපත් සැළෙන,
ළකළු රිද්මය නඟන්. .

විඩාපත් මා පෙළන,
රොස් පරොස්, රළු වදන්,
නිමා කරපන් ඉතිං,
පෙර ලෙසින් හිනැහියන්. .

වෙර බැඳී මළ නැඟුණු,
හදවතින් මෙත් වඩන්,
කළ වරද මගෙ නොවෙයි,
දැන් ඉතිං නැවතියන්. .

නිමා වුනු අතීතය,
බිඳුණු හදවත දරන්,
නුඹට මෙත් වඩන මා,
නෙත් සමග හිනැහියන්. .

අඳුරු හදවත මතින් - සඳු සියක් නැගීයන්,
දිලෙන කඳුලට යටින් - සිනා මල් පිපීයන්,
මා නැතත් නුඹ පිණිස - ලෝකයම ලැබීයන්,
එක වරක් මේ සසර - ආයෙමත් හමුවෙයන්. .

. .නුඹ දැකීම. .

මේ විසල් නගරයේ,
හැම තැනම වෙලාගෙන,
මගේ ළය බිඳහෙළා,
නුඹෙ මතක සිනාසෙයි. .

සුරත හා වෙලීගෙන,
නුඹ ළඟින් නාවාට,
මුදු සිහින් ඇඟිලි තුඩු,
තාම සිත කොනිත්තයි. .

රිය සැරය යටින් විත්,
නුඹෙ කොමළ සිනා රැළි,
හදේ මංමුලා කොට,
යන්තමින් මට ඇසෙයි. .

මාවතේ ඉවුරු මත,
නුඹේ රුව මැවෙත්දී,
බර දරනු බැරි ලෙසින්,
දෙනෙත් අහකට හැරෙයි. .

මගේ නෙත් මත ගැටෙන,
දහසකුත් මිනිස් රූ,
අතැර එක මදහසක්,
පිණිස මා වෙහෙසවයි. .

ආත්මය මිටින් ගෙන,
ඈතකට විසි කළෙමි,
ඉතිං මා දමා යවු,
මාවතේ මිරිඟුවෙහි. .

Thursday, October 21, 2010

. . .නුඹ නොදත් ප්‍රේමය. . .

සිත් අහස අඳුර හැර,
නුඹ සඳ ව නැඟුනාම,
මගෙ ලොවේ ඇඳි සොඳුර,
සිහිනෙනු'දු දුටුවාද. .?

නුඹ යනෙ'න මග ම විත්,
නුඹව මුණ ගැසුනාම,
මා නැඟූ හසරැල්ල,
යන්තමින් පෙනුනාද. .?

නුඹේ රුව,ගුණ පිණිස,
නුඹට සිත බැඳුනාම,
ලොවම එය දත් නමුත්,
නුඹට ඒ දැනුනාද. .?

තව අයෙක් සමග නුඹ,
මාවතේ දුටුවාම,
හද වසාගත් අඳුර,
කොයිබ සිට ආවාද. .?

නුඹෙ සොඳුරු සිනා මල්,
ඔහු වෙතට පිපුනාම,
ආත්මය ඉරිතලා,
මා මියෙනු පෙනුනාද. .?

ලෝකයට හොරෙන් බැඳි,
පෙම බිඳී හැඬුනාම,
ලෝකයම සිනාසුනි,
නුඹත් ඒ වගේමද. .?

Friday, May 28, 2010

....නාඳුනන ලියවැල....

ඈත රණ බිම කෙරෙන්,
වෙඩි හඬක් පැන නැඟුණි,
රුපුන් සිත් සසල කළ,
හදවතක් නිසල විණි....

මිහි කුසින් උපත ලද,
උරුමයෙන් බය නොලද,
නොදත් රණ පුතණුවෝ,
සුර ලොවට නික්ම යති....

උණ්ඩයෙන් සිදුරු උන,
නොබා හුන් හදවතින්,
රුහිර උතුරන කලට,
ඔහුව අමතක කෙරිණි....

ඉනික්බිති,
අඩවසක් ගෙවුනු දින,
උනු'න මග ගත්තවුන්,
එබිම කඳවුරු බඳිත්....

දිරා යන සැකිල්ලේ,
උරස් කුහරය තුලින්,
උන් දකිති ලියවැලක්,
මෙයින් පෙර දැක නොමැති....

උණ්ඩයෙන් බිඳී ගිය,
පර්ශු අතරින් පැතිර,
සෙබළ හදවත රැඳුන,
තැනින් මතු වී අවුත්,
මඳ නලින් බිම පිසින,
සියල් තණ පත් අතර,
සැඩ සුළඟ දරාගෙන,
ඍජු කයෙන් නැග සිටිති....

බිඳී යන ඇඟිලි ඇට,
අවසාන උණ්ඩයත්,
මුදා හළ අවිය බඳ,
අත් හැරී නොයනු මෙන්,
ලිය කඳෙන් නැගි පහුරු,
සුරත බඳ මත වෙලා,
ඇඟිලි හා බැඳී ඇත....

ලතාවෙහි උසම අග,
එකම ලේ පැහැ මලක්,
තහඩු මාලය දරයි,
මළකඩින් මැකී ගිය...

මළාණික හද මඬල,
ඒ මලින් සරසාන,
හිස් හෙළවු යුද බිමට,
සිතෙන් අවි දරාගෙන....

සෙබළු යළි හැරෙන තැන,
සතුරු සැකිළි ද තිබිණි,
අවි බඳෙන් පහර ලැබ,
හිස් කබල විසුණු උන...

ඒ සැකිළි මතින් පැන,
උන් ගියා රණ බිමට,
ජය කොඩිය අතින් ගෙන,
මිස නැවත නො එන මෙන....

රුපුන් පළවා හැරන්,
මුදා ගත් දින එ බිම,
අවිය අත් හැර දමා,
පහුරු මව් බිම සොයති....

තහඩු මාලය යලිත්,
ගෙල මතට ඇද වැටිණි,
මලෙහි පෙති සිඳී ගොස්,
බිම පුරා විසිර යති....

මඳ නලට මුසු කෙරුණ,
සිහ කෙසරු වන් රේණු,
දසත පැතිරී ගොසින්,
නිදහසේ සුවය දෙති....

එ රණ බිම වසාගෙන,
අළුත් ලියවැල් නැගුණි,
මිලින වූ මල පිණිස,
සියක් මල් යළි පිපුණි....

හෙට දිනක ඒ බිමේ,
දණ නගන'වුන් පිණිස,
නැවුම් අරුණෝදයේ,
ජය බිමක සිරි මවති....

Sunday, April 18, 2010

...ආත්මීය දෝලනය...

මන බඳන - සිත රඳන,
නෙතු පිරෙන - රුව නුඹෙයි...
සිත තලන - හද පෙලන,
නෙතු තෙමන - සිත නුඹෙයි...

හද රැඳෙන - සිත නිවන,
මන පිනන - සිත ඇගෙයි...
නුඹ තරම් - රුව නැතත්,
ඇගේ ගුණ - බෝ අගෙයි...

රුව ගුණද - නැණ ගුණද,
වඩා හොඳ - නොවැටහෙයි...
එසේ වන - මගේ සිත,
මඩෙහි සිටවූ රිටයි...

Friday, April 16, 2010

...කම්බ හොරා...

නුඹට හොරෙන්,
නුඹෙ හදවත,
සොරාගත්තෙ මම...

මටත් හොරෙන්,
තවත් එකෙක්,
හොරෙන් අරන් එය...

එක දවසක්,
නුඹ යනකොට,
ඔහු සමගින් මඟ...

මවෙත හැරී,
ඔහු කීවා,
"කම්බ හොරෙක් මම"...

Thursday, April 1, 2010

...නුඹ යන්න ඉගිලිලා...

පියාපත් විහිදුවා,
නුඹ යන්න ඉගිලිලා,
මම මෙබිම රැඳෙන්නෙමි,
නුඹේ දෙස නෙත් හෙලා....

එක මඟෙහි යනු කෙලෙස,
නුඹ සමඟ පියඹලා?,
නුඹට හිමි පියාපත්,
මට නොමැත හිමි වෙලා....

නුඹේ ලොව වෙත යන්න,
ඉඩ දේවි සුදු වලා,
රළු බිමෙහි ඇවිද යමි,
මගේ අරමුණ බලා....

මග රළුය,බෝ දිගුය,
කටු කොහොල් විසිරිලා,
මා සමඟ නො එනු මැන,
නුඹ යන්න ඉගිලිලා....

ගෙවුණු මඟ දුක් කඳුළු,
නොයනු ඇත වියැළිලා,
ඒ තැවුල් මට දෙන්න,
නුඹ යන්න හිනැහිලා....

නුඹ කෙරෙහි නෙත් රඳමි,
දිරිය දෙමි කල් බලා,
නැවත නොහැරී යන්න,
අතීතය මියැදිලා....

මේ සසර යම් දිනෙක,
යළිත් අප හමු වෙලා,
එක මඟක යමු, එතෙක්,
නුඹ යන්න පියඹලා....

Tuesday, March 30, 2010

...මගෙ නොවූ සඳ...

රළ බිඳෙයි,රළ බිඳෙයි,
සයුරු ගොස නොනවතියි,
දෙසවනෙහි දඟ කරන,
නුඹෙ ස්වරය වාගෙමයි....

සඳු නැගෙයි,සඳු නැගෙයි,
අඳුර සඟවා දිලෙයි,
සිතෙහි කැටයම් කෙරුණ,
නුඹේ රුව වාගෙමයි....

මල් පිපෙයි,මල් පිපෙයි,
සුවඳ පතුරා සැලෙයි,
මගේ හද සොරාගත්,
ගුණ සුවඳ වාගෙමයි....

නුඹ මගෙයි,නුඹ මගෙයි,
මගේ හිත මට කියයි,
නිම නොවුනු පෙම් කවිය,
සිහිනයක් වාගෙමයි....

නුඹෙ නොවෙයි,නුඹෙ නොවෙයි,
මුළු ලොවම මට කියයි,
ළං වෙන්න වෙහෙසුනෙමි,
මිරිඟුවක් වාගෙමයි....

නෙත් තෙමෙයි,නෙත් තෙමෙයි,
මට අහිමි බව පෙනෙයි,
ජීවිතය සොරාගෙන,
නුඹ ගියා වාගෙමයි....

Monday, March 29, 2010

...ප්‍රේමය නම් නුඹ...

නුඹ තරුවකි,
සිත් අහසේ,
අඳුර මැදින්,
මට දිස් වුනු....

නුඹ සයුරකි,
හෝ හෝ නද,
නිරතුරු මා,
සිත හැඬවුණු....

නුඹ සිහිනෙකි,
නෙත් අබිමුව,
හැම මොහොතෙම,
මැවී පෙනුනු....

නුඹ අතුරකි,
මා යන කල,
එක පාරම,
සිඳී වැටුණු....

Saturday, March 27, 2010

...මේ පාරෙන් යළිත් එන්න...

කන් ද උඩින්,රෝද මතින්,අපේ ගමට ඇවිත් ඉන්න
"දෙන් න ඔබේ මනාපයත්,අපේ පාට හිතට ගන්න"
වැන් ද ගමන්,සිනා මතින් තවත් පොරොන්දුවක් දෙන්න
ඡන් දෙන් පසු මහත්වරුනි,මේ පාරෙන් යළිත් එන්න.

"බැඳ විදුලිය ගමට වදින අලි උවදුර පලවා හැර
බිඳ ගණ'ඳුරු මුළු ගමටම විදුලිය දෙමු එකම පාර
මද පමණින් වත් අමතක නොකර දමමු පාරෙ තාර
වැඳ ඉල්ලන මනාපයත් අපෙ පාටට දෙන්න කතිර"

හැම පාරම නුඹෙ කටින් කිව්ව කතා ටික අහන්න
මම ත් එක්ක හුඟක් දෙනෙක් ආයෙත් මෙහි ඇවිත් මෙන්න
ගම වෙනුවෙන් මුකුත් එපා,එකම දෙයක් අපට දෙන්න
මෙම පාරෙන් යළිත් එන්න අපට පොරොන්දුවක් වෙන්න.

ඇඟ තරමට හිස නොවැඩුණු,මහතුනි දැන් මේ අහන්න
හුඟ කලකින් වැඳන් ඇවිත් පොරොන්දුවක් අපට දුන්න
ළඟ කාලෙක ඉටු නොවුනත්,අඩුවක් නෑ අපට ඉන්න
මග හැමතැන නුඹෙ පොරොන්දු,එන්න,ඇවිත් අරන් යන්න.

ගන රෝදෙන්,වලෙන් වලට පැන යන රිය අරන් එන්න
උණ රෝගෙන් මියැදිල යන පොඩි එවුන්ගෙ උඩින් යන්න
දින ගාණක් නුඹෙ ළඟින් ඇදෙන සෙනඟ අපට දෙන්න
පණ ගිය'වුන් නෑසිය දුක අපිත් එක්ක බෙදා ගන්න

හිස් මොළයේ තියෙනා ඉඩ අපි අතරේ බෙදල දෙන්න
උස් සන්නට බැරි දිවි බර ඒවටවත් පුරෝ ගන්න
ඇස් නොපෙනෙන කරුවලේදි,අපට එළිය දේවි ඔන්න
තිස් ගණනක් වන දත් පෙළ,එක එකාට දීල යන්න.

ඉමි හිරි නුඹෙ සිනා රැඳුනු "තාප්ප කොළ" ගලව ගන්න
ගැමි එළුවෝ ඒවා කා කිරි අමිහිරි වෙලා ඔන්න
අමි හිරි ලෙස ගැමි දැරිවියො හීනෙන් බය නොකර ඉන්න
හිමි දිරියෙම අනේ ඇවිත් "බැනර්" ටිකත් අරන් යන්න.

මල් පිපුණම නුඹේ හිසේ හිත පුරාම පැණි හැලෙන්න
ගල් ගැලවුණ පාරෙ එන්න,අපි ආසයි නුඹ දකින්න
මුල් ගල් ටික මුල් ඇදෙන්න කළින් මෙහෙන් ඇවිත් යන්න
පොල් පිති ගෙන අපි ඉන්නව,හොඳ සත්කාරයක් දෙන්න.

....අවසන් හමුව....

එකම එක වතාවක්,
යළිත් නුඹ මුණ ගැසෙමි,
හද තවන දිගු කවිය,
කියා නුඹගෙන් මිදෙමි...

මතකයෙන් ගිලිහෙන්න,
පෙරින් නුඹ යළි දකිමි,
අතීතය නුඹට දී,
හිස් අතින් නැවත එමි...

නුඹට පෙම් කළ අයුරු,
නුඹට යළි නොම කියමි,
නුඹ නිසා අහිමි වූ,
කිසිත් සිහි නොම කරමි...

නුඹට මා ලබා දුන්,
කිසිත් යළි නොඉල්ලමි,
එවන් දේ මට දෙන්න,
නුඹට බැරි බව දනිමි...

නුඹ ම වෙත තෑගි කළ,
සියලු දේ නැවත දෙමි,
දුක,කඳුළ,ළතැවුල්ල,
නුඹට පවරා මිදෙමි...

බිඳුණු සිත දරනු බැරි,
කඳුලු බර බිම තබමි,
ඒ රැගෙන නුඹ යන්න,
තිබුණු බැමි සිඳ හළෙමි...

නුඹට හිමි මාවතින්,
නුඹ යන්න,නොවළකමි,
මිටින් හළ එකෙකු සේ,
ජීවිතය සොයා යමි...

Saturday, December 5, 2009

...මා ඉතින් යා යුතුයි...

මා ඉතින් යා යුතුයි,
නුඹට සමු දී හොරෙන්,
නුඹ වෙතට මුල් ඇදුණු,
ආත්මය මුදාගෙන....

හදවතේ කොණක හිඳ,
ප්‍රේමයේ ගී ගැයුව,
විහඟ ගෙල සිඳ දමා,
දැන් ඉතින් යා යුතුයි....

අප පිණිස සිත් අහස,
තැනූ සුවිසල් මැදුර,
පදනමින් බිඳ හෙලා,
ඉතින් මා යා යුතුයි....

නුඹ පිණිස සිත පිරුණ,
සුවහසක් සෝ තැවුල්,
නෙත් පවුරු පරදන්න,
පෙරින් මා යා යුතුයි....

නුඹේ මතකය රැගෙන,
නුඹේ ගත මෙහි තබමි,
ඉතින් මට සමුදෙන්න,
මා දැන්ම යා යුතුයි....

මා රකින මේ බිමෙන්,
නුඹට උණුහුම තනා,
ගිනි අවිය අතට ගෙන,
කඳවුරට යා යුතුයි...